Thursday, May 20, 2010

සුබ රාත‍්‍රියක් නාරද..!

හිතවතෙකුගේ සමුගැනීම දුක දනවයි.ඒ හිතවතා සුන්දර රසවතෙක් වූ විට ඒ දුක වඩාත් තියුණු වෙයි. දිවියේ හැත්තෑ හය වෙනි මග ලකුණ පසු කරද්දී අපෙන් සමුගත් නාරද දිසාසේකරගේ ගීත අතලොස්සකින් ලාංකීය හා ගීතය හා සංගීතය තුළ තිරව තම මුද්‍රාව තබන්නට සමත් වුණා. නාරද මිතුරන් හා දොඩමළු වූ බොහෝ අවස්ථා වලදී රන්මුතු දූව චිත‍්‍රපටයට ඔහු ගැයූ ‘පිපී පිපී රේණු නගන’ ගීතය නිර්වචනය වූ ආකාරය රසකර තළු මැරුවා අමරදේව නාරද හා ශේෂා පලිහක්කාර සමග මානවසිංහ මුණගැසුණු මොහොතක මානවසිංහ චිත‍්‍රපටය හා ගායකයාගේ තොරතුරු විමසා මොහොතක් කල්පනාවක නිමග්න වුණා. හදිසිහේම පිපී යයි කෑගැසූ මානවසිංහයන් අතින් නාරද දිසාසේකරයන්ගේ අපමණ ජනප‍්‍රියත්වයට පත් පිපී පිපී රේණු නගන ගීතයේ ඉතිරි පද ඉබේම ලියැවුණා. අමරදේව සංගීතවත් කළ පිපී රේණු හමන ගීය අපූරු පර්යේෂණයක් වුණා. සරල බස් වහර බයිලා ශෛලියට මුසු කරගත් මේ ගීතය වැල්ලේ කෙළිදෙළින් පසුවන ධීවර තරුණයින්ගේ සිතැඟි අපූරුවට එළිදැක්වූවා. නාරද දිසාසේකරගේ හඬ මේ ගීයට සුවිශේෂ දායකත්වයක් සැපයුවා.
1960 දශකයේදී අමරදේව ඉදිරිපත් කළ ‘මධුවන්ති’ හා ස්වරවර්ණ වැඩසටහන් වල ශබ්ද පරිපාලනය කෙරුනේ නාරද දිසාසේකර අතිනි.
දහවල් කෑම පැයේදී නාරද දිසාසේකර ගුවන් විදුලියේ වාදක මණ්ඩල කාමරයට ගොඩවැදුනේ, ඒ ඒ සංගීත භාණ්ඩවල නාද ස්වභාවය විමසන්නයි. ගැයුම හා වැයුම එකට මුසුකරන්නට ඔහු දැක්වූයේ අපූරු හැකියාවක්.

ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ

ඒත් ගංතෙර හුන් ඒ සුන්දර මිනිසා නික්ම ගොසිනි.
සුබ රාත‍්‍රියක් නාරද...!

0 comments:

Post a Comment