Friday, June 18, 2010

විජයග‍්‍රහණයේ වර්ෂ පූර්ණය අභිමානයෙන් සැමරේ


ත‍්‍රස්තවාදය අතුගා දමමින් රටම ලද විජයග‍්‍රහණයේ වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය අද පැවැත්වුණේ මහත් අභිමානයෙන්.

විජයග‍්‍රහණයේ වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය පැවැත්වුණේ කොලඹ ගාලූ මුවදොර පිටියේදීයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප‍්‍රාප්තියත් සමග එය ආරම්භ වුණා. අශ්වාරෝහකයන්ද පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයාගේ සම්ප‍්‍රාප්තිය සිදු වූයේ හමුදා උත්තමාචාර මධ්‍යයේය.

උත්සව භූමියට සපැමිණි ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාපතිවරයා යුද හමුදාපතිවරයා නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පිළිගනු ලැබුවා. අනතුරුව ඔවුන් විසින් ජනාධිපතිවරයා ජාතික ධජය සහිත කොඩි කණුව වෙතට කැටුව ගියා. ජනාධිපතිවරයා ජාතික ධජය නංවාලූයේ ජය සක් බෙර වාදන මධ්‍යයේය.

ජාතික ගීයද ගායනා කෙරුණා. ඒ ති‍්‍රවිධ හමුදාවේ පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළ සෙබළියන් 40 දෙනෙකු විසින්. සටන් බිමේදී රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. පසුව ජනාධිපති උත්තමාචාර සම්මාන මුරය ආරම්භ වුණා.

මෙම උත්තමාචාර සම්මාන මුරය පැවැත්වුණේ ති‍්‍රවිධ හමුදා නිලධාරීන් අට දෙනෙකුගේ සහ සෙසු නිලයන් අට දෙනෙකුගේ සහභාගිත්වයෙන්. පසුව උත්තමාචාර පෙළපාලිය ආරම්භ වුණා. ඒ ති‍්‍රවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 538 දෙනෙකුගේ සහ සෙසු නිලයන් 8960කගේ සහභාගිත්වයෙන්.

පෙළපාලියේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඒ බව ජනාධිපතිවරයාට රපෝර්තු කළා. පෙළපාලිය ගමන් ආරම්භ කළේ ජනාධිපතිවරයා විසින් එය අධීක්ෂණය කිරිමෙන් අනතුරුවයි. විශේෂ රථයක නැගී ජනාධිපතිවරයා එය අධීක්ෂණය කළා.

උත්තමාචාර පෙළ පාලියට නාවික හමුදාවට අයත් සයුර, සමුදුර, සුරනිමල සහ ජෙට්ලයිනර් ඇතුළු නෞකාද එක් වුණා. එම්.අයි. 24, කෆීර් හා මිග් වැනි ප‍්‍රහාරක යානා ඊට එක්වූයේ කොළඹ අහස ගිගුම් දෙමින්. පැරෂුට් සංදර්ශනද පැවැත්වුණා.

1 comments:

Unknown said...

ඔතන වියදම කරපු සල්ලි වලින් ඔය රණවිරුවන්ට ගෙවල් ටිකක් හදලා දීලා එයලගේ සුබසාධන කටයුතු කරන්න තිබ්බා.

Post a Comment